සියදෙස පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිනි.
http://siyadesa.lk/page-date.php
ලාංකේය සිනමාවේ කතා බහට ලක් වන සමනලියක් ලෙස සමනලී ෆොන්සේකා සිය රංගන කෞෂල්‍ය විදහා දක්වන්නේ කුඩා කළ සිට. ආකාස කුසුම්, මෝටර් බයිසිකල් සහ ප්‍රේමය නම් යන චිත්‍රපට වලට රංගනයෙන් දායක වූ අපූරු රංගන ශිල්පිනියක් වූ සමනලී ෆොන්සේකා බාල වියේ සිට ම දැක්වූ සහජ දක්ෂතාවය ප්‍රෙක්ෂකයන් ඇය වැළඳ ගැනීමට හේතුවක් විය. ජාත්‍යන්තර වේදිකාවේදීත් ඇගේ දක්ෂතාවය ප්‍රදර්ශනය වන්නේ ඒ නිසාවෙනි. මේ දිනවල ඇය වඩාත් කතා බහට ලක්වන්නේ ප්‍රේමය නම් චිත්‍රපටය ඔස්සේ ය.
සමනලී කොහොම ද?
හොඳයි. හොඳින් ඉන්නවා.මොකද මේ දවස් වල වෙන්නේ ?
මේ දවස් වල ප්‍රේමය නම් චිත්‍රපටය තිරගත වෙනවා. ඉතින් ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා.ප්‍රේමය නම් කතා තේමාව ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක්- මෙවැනි කතා තේමාවන් සිනමා නිර්මාණයන් ඔස්සේ කතා වෙනවා අඩුයි.
ප්‍රේමය නම් චිත්‍රපටයේ ඔබේ චරිතය පිළිබඳ කතා කලොත්?
මම නිරූපණය කරන්නේ මධ්‍යම පාන්තික ගැහැනියකගේ චරිතයක්- ඒ චරිතය තුළ ඇගේ ඉවසීම, ඇය සබඳතා ඉදරියට අරන් යන්නේ කෙසේ ද? සහ ඇය ඒ වෙනුවෙන් කැප වෙන්නේ කොහොම ද ,අසීරු තීරණයන් ගන්නේ කොහොම ද ඒත් එක්ක ම ඇය ආදරය කියන දේ සුරක්ෂිත කරගන්නේ කෙසේ ද යන වග මේ චරිතයෙන් නිරූපණය වෙනවා- බාහිරින් එන බාධක වලින් ආදරය කියන සංකල්පය තවදුරටත් පවත්වාගෙන යෑමේ දී භෞතිකත්වයට ඉඩ නොදී තමන්ගේ හැඟීම් වලට ඉඩ දෙමින් සබඳතා ඉදිරියට ගෙන යන ආකාරය තමයි සමාධි කියන චරිතයෙන් නිරූපණය වෙන්නේ-
ප්‍රේමය නම් චිත්‍රපටයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොම ද?
ඇත්තට ම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෛනවා- විශේෂයෙන් ම කියන්න ඕනෙ ප්‍රවීණයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර පිළිබඳ- ප්‍රවීණයන් රැසක් මේ චිත්‍රපටය නරඹල තිබුනා. මිනිස්සුන්ට සරලව තේරුම් ගන්න පුළුවන් ඔවුන්ගේ ජීවිත දෙස නැවත හැරී බලන්න පුළුවන් චිත්‍රපටයක් විදියට ප්‍රේමය නම් චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්.
ඇත්ත ද ඔබ කලාත්මක චිත්‍රපට වල පමණක් රංගනයෙන් දායක වෙනවා කියල කියන්නේ?
එහෙම කලාත්මක හෝ වානිජමය චිත්‍රපට කියල මම විභේදනයකට ලක් කරන්නේ නෑ. මම කැමති නැහැ කිසිඳු හරයක් නැති දෘෂ්ටියක් නැති චිත්‍රපට වල රඟපාන්න. මම උත්සාහ කරන්නේ මමත් පෝෂණය වෙලා, සමාජයත් පෝෂණය කරමින් චිත්‍රපට කර්මාන්තයත් පෝෂණය කරමින් යන චිත්‍රපට වල රඟපාන්න.
ලංකාවේ සිනමා කර්මාන්තයේ වර්තමාන තත්ත්වය පිළිබඳ අදහස කෙබඳු ද?
මම කැමතියි වර්තමානයේ සිනමා කර්මාන්තය පිළිබඳ කතා කරන්න කලින් වර්තමානයේ සමාජය පිළිබඳ කතා කරන්න. මොක ද සමාජයක් විදියට ඉතා ම පිරිහුණු තැනක තමයි අද ලංකාවේ සමාජය තියෙන්නෙ. උදාහරණයක් විදියට 70 දශකයේ පිරිමියා ගැහැණිය දෙස බලපු දෘෂ්ටිකෝණයෙන් නෙවේ 2017 වෙනකොට තත්ත්වය. මං හිතන්නේ අපේ ජීවිතයට ධනවාදයත් එක්ක කලාව කියන එකත් එක් කරගත්ත නම් මේ මතුවෙලා තියෙන තත්ත්වයට ඇත්තට ම වැටෙන්නෙ නෑ. සමාජයේ කාන්තාව කියන චරිතය පිරිමියාගේ ෆැන්ටසිය තුළ සිටින කෙනෙක් පමණක් ය යන අදහස මේ වන විට මුළු සමාජයක් පිළිඅරගෙන ඉවරයි. ඒ නිසා ම ඇයට රටක් තුළ බුද්ධිමය සංවාදයට එන්න ඉඩකඩ අඩුයි. එවැනි සමාජයකට කෙසේ ද අපි චිත්‍රපට කරන්නේ කියන එක අභියෝගයක්. ඒ අභියෝගයට මුහුණ දෙමින් මේ වන විට කලාකරුවන් වැඩ කරමින් ඉන්නවා.
සිනමා නිර්මාණයන් සඳහා ආරාධනා ලැබුන ම මොනව ද ඔබ සලකා බලන්නේ?
මම චිත්‍රපටයේ තිර පිටපත සළකා බලනවා. පිටපත කියෙව්වට පස්සේ මට චිත්‍රපටයේ හැසිරෙන්න පුළුවන් අවකාශයක් තියෙනව ද කියන කාරණය මම හිතනවා. පස්සේ ඒ චරිතය මට ගැළපෙනවනම් අධ්‍යක්ෂකවරයා සමග කතා බහ කරල මම චරිතය භාර ගන්නවා. ඉතා ම සීමිත ප්‍රමාණයෙන් තමයි මම තෝරා බේරා ගැනීම් කරන්නේ. ඒක මම තෝරා ගැනීම වෙන්න පුළුවන් වගේ ම මාව තෝරා ගැනීම වෙන්නත් පුළුවන්.
ලංකාවේ සිනමාහල් වල සිනමා නිර්මාණයන් පෙන්වීම ප්‍රමාද වෙන්නේ ඇයි?
ලංකාවේ චිත්‍රපට බලන්න එන්නේ කව්ද යන කාරණාව තීරණය වෙන්නේ රටේ ජනතාවත් එක්ක. ඇත්තට ම ඒක සමාජ දේශපාලනික කාරණාවක්. චිත්‍රපට මිනිස්සු බලනවද නැද්ද තීරණය කරන්නේ මේ සමාජීය දේශපාලනික වටපිටාව ඇතුළේ. ඒකත් එක්ක සිනාමහල් තීරණය කරනවා කුමන චිත්‍රපටය ද පෙන්විය යුත්තේ කියල. ප්‍රේමය නම් සිනමා නිර්මාණය ගත්තොත් මේ අර්බුදය අතික්‍රමණය කරමින් සිනමාහල් සඳහා දර්ශනවාරයක් පමණක් ප්‍රදර්ශනය වෙනවා. මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් මධ්‍යයේ තමයි ප්‍රේමය නම් මේ දිනවල තිරගත වෙන්නේ. මෙම නිර්මාණය සිනමාකරුවන් සඳහා එය ඉතා ම සාධනීය වගේ ම විප්ලවීය තැනක් විදියට මම දකිනවා.
ඔබේ දේශපාලන සහභාගීත්වය කෙබඳු ද?
දේශපාලනය කියන්නේ මගේ මතයක්. එය මගේ අයිතියක්. දේශපාලන මතයක් දරනවා කිව්ව ම ගොඩක් දෙනා හිතනවා පක්ෂ දේශපාලයට සම්බන්ධයි කියල. මම ස්වාධීනව මගේ දේශපාලන මතය දරනවා. පළවෙනි දේශපාලන මතය තමයි දකුණෙන් ජාතිවාදය ඉවත් කිරීම. ඒ සාධකයත් එක්ක වැඩ කරනකොට තමයි මහින්ද රාජපක්ෂගේ දේශපාලනය වටා මිනිස්සු එකතු වෙන්නේ. නමුත් මේ මොහොතේ මහින්ද රාජපක්ෂ අයින් වුනාට පස්සේ අපිට යම් බලපෑම් කණ්ඩායම් වශයෙන් නැගී සිටින්නට යම් නිදහස් අවකාශය ලැබිල තියෙනවා. වත්මන් දේශපාලනය හොඳයි කියන එක නෙවේ මගේ අදහස. නමුත් අපි කියන දේවල් වලට ඉඩක් මේ වන විට හැදිල තියෙනවා කියල කියන්න පුළුවන්.
සමනලී කොහොම ද ඉදිරියට ප්‍රේක්ෂකයන් අතරට යන්න හිතාගෙන ඉන්නේ?
ඉදිරියට සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් කියන චිත්‍රපටය තිරගත වෙන්න තියෙනවා. නිම්නයක හුදකලාව චිත්‍රපටය එන්න තියෙනවා. චින්තන ධර්මදාසගේ ඇවිලෙනසුළුයි කියන චිත්‍රපටය තිරගත වෙන්න තියෙනවා. මේ වගේ නිර්මාණයන් ඔස්සේ මාව දකින්න ලැබෙයි.
සුලක්ෂි රත්නායක

No comments:
Post a Comment