http://siyadesa.lk/page-date.php
සියදෙස පුවත්පත සමග සිදු කළ සංවාදයක් ඇසුරිනි.
ටෙලිනාට්‍ය වංශ කතාවේ ආරම්භක සංදිස්ථානයක් ලෙස දිමුතු මුතු ටෙලිනාට්‍ය ප්‍රේක්ෂක හදවත් තුළ තවමත් මතකයේ රැඳී පවතින බැව් නොරහසකි. දිමුතු මුතු නාට්‍යයේ උඩුබැද්දේ රාළහාමිගේ දියණිය බිසෝ ඔබට මතක ද? ඒ පුංචි තිරයේ බිසෝට පණ පෙවූ ප්‍රවීණ රංගන ශිල්පිනී රූපා ගෝමස් මහත්මිය යි. මේ දිනවල එතරම් දක්නට නොලැබුනත් ඇගේ රංගනයන්ගෙන් ඉදිරි නිර්මාණ වල දී පුංචි තිරය හැඩවේවි.
සිය ප්‍රථම අධ්‍යාපනය කරගම්පිටිය බෞද්ධ බාලිකා විද්‍යාලයෙන් ඇරඹූ රූපා ගෝමස් කලාව උපතින් රැගෙන එන්නියක් වූවා ය. පාසල් කාලයේ පටන් ඇය රූප රැජිනි තරඟ සඳහා ඉදිරිපත් වන්නේ තමන්ගේ රංගන සිහිනය සැබෑ කර ගැනීමේ අටියෙනි. ඒ ජයග්‍රහණ වලින් පසුව ඇය රංගන ජීවිතයට අත්පොත් තැබුවා ය. ඒ සඳහා ඇයගේ දෙමව්පියන් මෙන් ම ගුරුවරුන් ද ඇයට උපකාර කළා ය. ඒ අතරවාරයේ අය විසින් විවිධ චිත්‍රපටයන්ගේ සුළු සුළු චරිත වලට දායක වූවා ය. ඇය විසින් 1970 දශකය මුල් භාගයේ දී පමණ වෙළඳ දැන්වීම් නිරූපිකාවක් වශයෙන් කටයුතු කර ඇත. ඒ වෙළඳ දැන්වීමේ අයිතිකරු වූයේ ද ඩී බී නිහාල්සිංහයන් වීම ඇගේ පළමු රංගනය දිමුතු මුතු වීමට හේතු වූ බව ඇගේ අදහසයි. කුඩා කළ සිට ම මව්පියන්ගෙන් ලද අත් උදව් අතැතිව ඇගේ සිහිනය වෙත ඈ ළං විය. ඇගේ සිහිනය වූයේත් කෙදිනක හෝ රංඟන ශිල්පිනියක් වීමයි. ඒ සිහිනය සැබෑ වන්නේ ඉතා කෙටි කලක දී ය. පාසල් වේදිකාවෙන් ලද අත්දැකීම් මධ්‍යයේ ඇය විවෘත වේදිකාවට ප්‍රවිශ්ට වන්නේ ඇගේ කලා දිවියේ ආරම්භය සකසා ගැනීම සඳහා ය. ඒ අනුව ලයනල් සී ද අල්විස් මහත්මාගේ නාට්‍යක් වූ දෙහිවල වොලිස් ඡායාරූප ශිලපීන්ගේ නාට්‍යයෙන් සිය ප්‍රථම රංගන කෞෂ්‍යල්‍ය විදහා දක්වන්නට ඇයට අවස්ථාව ලැබුණි. එම අවස්ථාව ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් විය. තමන්ගේ ප්‍රථම වේදිකා නාට්‍ය ලෙස ලයනල් සී ද අල්විස් මහතා යටතේ කටයුතු කිරීමට ලැබීම ඇය ලත් භාග්‍යක් ලෙස ඈ සිතුවා ය.
‘ඇත්තට ම ලයනල් සී ද අල්විස් මහත්මාගේ වේදිකා නාට්‍යකින් මගේ ගමන ආරම්භ කරපු එක ගැන මම මම සතුටු වෙනවා. අද වොලිස් වේදිකා නාට්‍යයේ රංගනයෙන් දායක වුණු බොහෝ රංගන ශිල්පීන් ශිල්පිනියන් ලංකාවේ මේ වන විට ගොඩක් ජනප්‍රිය වුනා.’
ඩී බී නිහාල්සිංහ මහත්මාගේ දිමුතු මුතු ටෙලි නාට්‍ය රඟපෑම සඳහා ඇයට අවස්ථාව ලැබෙනුයේ ද මේ කාලයේ ය. ඒ වෙළඳ දැන්වීමකට පෙනී සිටීමෙන් අනතුරුවයි. පාසල් කාලයේ දී සිට රූ රැජින තරඟ වලට සහභාගි වීම ඇගේ රංගන සිහිනය සැබෑ කරන්නක් වූවා ය. සෑම වාසනාවක් ම ඉතා කෙටි කලක දී ඇයට හිමි වූයේ එහෙයිනි.
‘මේ කාලයේ දී තමයි නිහාල්සිංහ මහතා ඉස්සරලා ම ටෙලි නාට්‍යක් කරන්න පටන් ගත්තේ. මේ දවස්වල දිමුතු මුතු ටෙලිනාට්‍යයේ කොටස් 3ක් පමණ රූපවාහිනියේ විකාශය වෙමින් තිබුණා. ඉතින් ලොකු ආසාවක් ඇතිවුනා මටත් මේ ටෙලි නාට්‍යයේ රඟපාන්න තියෙනවනම් කොච්චර වාසනාවක් ද කියල. ඒක ඇත්තට ම මට හීනයක් වගේ වුනා. මොක ද එහෙම හිතල පහුවෙනිදා උදේ කිත්සිරි ද සිල්වා, අශෝක නිශ්ශංක මහත්මයායි ඇවිල්ල කිව්ව නිහාල්සිංහ මහත්මාගේ ටෙලි නාට්‍යයේ චරිතයක් තියෙනවා. උප කතා නායිකාවකගේ චරිතය රගපාන්න පුළුවන් ද කියල. ඇත්තට ම ඒ වෙලාවේ මට මගේ හීනේ හැබෑ වුනා කියලයි මට හිතුනෙ. ඒක මම ලබපු ලොකු ම වාසනාව. ඩී බී නිහාල්සිංහ මහතාගෙන් රගපෑමට අමතරව නිළියක් වශයෙන් සමාජයේ හැසිරෙන්නේ කොහොම ද කියල මම ඉගෙන ගත්තා. ඇත්තට ම ඒක වටින අත්දැකීමක්. අදටත් මට ගොඩක් දෙනා ආදරේ කරන්නේ දිමුතු මුතු ටෙලි නාට්‍යයේ බිසෝ කියන චරිතයෙන්.
පුංචි තිරයේ පළමු අත්දැකීමේ සොඳුරු සංදිස්ථාන ඈ සිහි ගැන්වූයේ මෙලෙසින්.
‘මේ වෙලාවේ මට මතක් වෙනවා එක සිදුවීමක්. ඒ කාලේ තාක්ෂණය එතරම් දියුණු නැනේ. ඉතින් අපි දිමුතු මුතු රූගත කරනකොට මයික්‍රෆොන් ඇඳුම් ඇතුළෙ දාගෙන තමයි කළේ. ඒ නිසා සීමිත ඉඩ ප්‍රමාණයක අපිට රඟපාන්න ලැබුනේ. ඒක හරි ම ආදරණියයි. විනෝදජනකයි. දවසක් එක දර්ශනයක් රූගත කරන වෙලාවේ මමයි තව රංගන ශිල්පිනියක් අපි දෙදෙනා ට දෙබස් කියන්න බැරි වුනා මොක ද මයික්‍රෆෝනයේ වයරය දිග මදි වුනා. දැන් නම් ඒ වගේ බාධක එන්නේ නෑ. හැබැයි මට හිතෙනවා ඉස්සර අපි හරි නිදහසේ රඟපෑවා කියල. ’
‘අදටත් මම ගරු කරනවා ලයනල් සී ද අල්විස් මහත්මාට. මොක ද වේදිකාවේ දී මට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුනේ ඔහුගෙන් නිසා. ඒ වගේ ම එදා සිට අද දක්වා මට රඟපාන්න ලැබුණු සෑම අධ්‍යක්ෂකවරයෙක් ම මගේ වාසනාවට මට ලැබුනා කියල කියන්න පුළුවන්. බොහෝ දේවල් ඉගෙන ගනිමින් මට රගපාන්න ලැබුනා. මම ගෞරවයෙන් මතක් කළ යුතු චරිතයක් තමයි සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්මා. මට මතකයි මම රඟපාන්න ආසයි කියල කිව්ව ම ඔහුගේ සතර දිගන්තය චිත්‍රපටයට මාව තෝරගත්තා. එදා සිට අද දක්වා ඔහු මගේ පවුලේ හිතවතෙක් වුනා.’
සතිස්චන්ද්‍රයන්ගේ සතර දිගන්තය සිනමා පටයෙන් පසුව දියමන්ති, වදුල, ඔබට පමණයි ආදරේ වැනි සිනමා නිර්මාණ රැසක රංගනයෙන් දායක වන්නට ඇය වාසනාවන්ත විය. ලාංකේය සිනමාවේ මෙන් ම පුංචි තිරයේ ඇය විසින් රංගනයෙන් දායක වූ නිර්මාණ ප්‍රමාණය ගණනින් මැනිය නොහැකි තරම් ය. සිනමා නිර්මාණයන් දහයකට ආසන්න ප්‍රමාණයෙන් ඇය විසින් දායකත්වය ලබා දී තිබේ. බොහෝමයක් නිර්මාණයන්ගෙන් ඇය ප්‍රේක්ෂකයා හමුවට එන්නේ නපුරු මවකගේ හෝ කාන්තාවගේ චරිතයෙනි. ඒ සඳහා තමන්ගේ රුව දායක වී ඇති බව ඇගේ මතයයි.
සම්මාන රැසකින් ජනාදරයට පත් ප්‍රවීණ රංගන ශිල්පිනී රූපා ගෝමස් මහත්මිය 2015 දී වසරේ ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඉතා මෑතක දී ලංකා දියණිය හෙළ අභිමානි ගෞරවනීය සම්මානයෙන් ද පිදුම් ලැබුවා ය.
වේදිකා රංගනයෙන් කලාවට ප්‍රවිෂ්ට වුණු ප්‍රවීණ රංගන ශිල්පිනී රූපා ගෝමස් මහත්මිය බොහෝමයක් ආධුනික රංගන ශිල්පීන් සඳහා සිය උපරිම දායකත්වය ලබා දෙමින් ඉදිරියට යන රංගන ශිල්පිනියෙකි.
‘ඇත්තට ම මට ආධුනික රංගන ශිල්පීන්ට කියන්න යමක් තියෙනවා. ඒ තමයි අපිට අපේ රංගන ජීවිතයේ දී වටිනා ම තැන තමයි වේදිකාව. වේදිකාවේ හැදෑරීමක් අනිවාර්යෙන් රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට තිබිය යුතුම යි. මොක ද වේදිකාවේ රඟපානවා කියන්නේ පුංචි තිරයේ රඟපානව කියන එක එච්චර දෙයක් නෙවේ. හඬ පිළිබඳව වගේ ම බොහෝ දෑ වේදිකාවෙන් ඉගෙන ගත හැකියි. ’
ගුවන්විදුලි හඬ කවන්නියක් ලෙසත් ස්ව ව්‍යාපාරයක හිමිකාරියක් ලෙසත් කටයුතු කරන ඇය නිතර දෙවේලේ පුංචි තිරයේ දක්නට නොලැබුනත් යළිත් අපූරු චරිතයකින් ජන හද ජය ගන්නට සූදානමින් සිටී. ඒ දිල්ෂාන් වෙල්ලාල මහතාගේ කඩවර අඩවිය ටෙලි නාට්‍ය ඔස්සේ ය. නපුරු මවගේ චරිතයන්ට නිතර ම වාගේ පණ පෙවූ ඇයට දිමුතු මුතුවේ තවත් බිසෝ කෙනෙක් නම් නොවෙන සුදු අධිරාජ්‍යවාදයට යටත් වී සිටින උද්දච්ච කාන්තාවක් ලෙසින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන්නට සූදානමින්.
සුලක්ෂි රත්නායක

No comments:
Post a Comment