මෙහෙමත් සින්දු



බුද්ධිමය හා  භාවමය ජීවිතයේ අංගයක් ලෙස මිනිසා සංවාදයට හා සංවේදීභාවයට පත්කිරීමේ නිර්මාණශීලී ගුණය කාව්‍යයකට හෝ ගීතයකට තිබෙන බැව් පිළිගැනීම යි- විරෝධාකල්ප සාහිත්‍ය කලාව සිංහල සාහිත්‍යයට මෙන් ම විශ්ව සාහිත්‍යයේ ද භාවිතා කළේ පවතින සම්මත සමාජයේ කඨෝර ආනුභූතීන් ප්‍රකට කර ඊට ප්‍රතිතක්ෂව නව ජීවිතයක් උදෙසා නව පුරුෂාර්ථ විවරණයක් ප්‍රකට කිරීම උදෙසා ය- සිංහල සාහිත්‍ය ඉතිහාසය විවරණය කිරීමේ දී එබැව් විද්‍යාමාන වේ- සමාජය වෙනස්වීීම හා ඊට සාපේක්ෂව විරෝධතා සාහිත්‍ය ප්‍රචාරණය දැකගත හැකි වේ- එය නූතන විරෝධාකල්ප සාදෘශ්‍ය තත්ත්වයන් නොවූව ද එය සමාජය කෙරෙහි බලපෑම් කිරීමට සමත් විය- එය උපහාසයක් විවේචනයක් ලෙසින් සම්මත ක්‍රමයට ප්‍රතිපක්ෂ වූ අදහසක් විය- පවතින සම්මත සමාජ  ක්‍රමයක විෂමතාවන් ප්‍රතිපක්ෂ සමාජ දර්ද්‍රතාවය හා ජීවන පරපීඩනයට ප්‍රතිවිරුද්ධව පොදු ජනයාගේ වේදනා කාව්‍යමය ආනුභූතියක් ලෙස ප්‍රකාශ කිරීම විරුද්ධාකල්ප සාහිත්‍ය සම්ප්‍රදායේ මූලික ලක්ෂණය වේ- පවතින සම්මත සමාජ ආර්ථික දේශපාලනික හා සංස්කෘතික සංස්ථා එහි දුබලතා විචාරයට ලක් කිරීම මෙහි අරමුණයි- විරෝධාකල්ප සාහිත්‍ය නිර්මාණ මගින් මානව සමාජය එහි අන්තර්ගතය ඍජුවම හෝ වක්‍රව අනාවරණයකට ලක් කරයි- නිර්මාණයක බාහිර අලංකරණ විධිවලට වඩා අන්තර්ගත දෘෂ්ටිය වඩාත් වැදගත් වන බව මෙම ගීත කලාව තුළින් විෂද වේ- බටහිර සේ ම පෙරදිග මේ පිළිබඳ අදහස් වර්ධනය වූ අතර ම එම අදහස් මගින් සෞන්දර්යය ඉස්මතු කිරීමට වඩා යම් විකල්ප චින්තනයන් ප්‍රකට කිරීමක් සිදු විය- සිංහල සාහිත්‍ය කලාවේ විරෝධාකල්ප ගීත කලාව ඇරඹෙන්නේ ද සම්මත සමාජ ක්‍රියාවලියට ඔබ්බෙහි වූ ප්‍රශ්න කථිකා කිරීමක් ලෙස ය- දේශපාලනමය වශයෙන් ආර්ථික වශයෙන් යුද්ධය, වර්ගවාදය, ප්‍රේමයට සිදුවන අසාධාරණය, නීතිය, රැකියාව, කුලය, දෑවැද්ද, සමාජ තත්ත්වය ආදී විවිධ පැතිකඩයන් විරෝධාකල්ප සාහිත්‍ය සඳහා පදනම වැටුණි- එම සාහිත්‍ය වඩා වර්ධනය වූ යුගය ලෙස සැලකෙන්නේ 1970 දශකයෙන් මෙපිට කාල වකවානුවයි- සිංහල සාහිත්‍ය වංශ කතාවේ බොහෝමයක් විරෝධාකල්ප ගීත ලියවෙන්නේ මෙම යුගය හා සමගාමීව ය- එහි දී ගීත රචකයන්ගේ තේමාවන් වන්නේ සමාජ අසාධාරණයන් ය- එහි දී දරිද්‍රතාවය සමාජ හිංසනය ආදී කාරණාවන් සාකච්ඡා විය- කළුම කළු ගීතය රචනා වන්නේ මෙම ආකෘතියෙන් මඳක් සමගාමීව සහ බැහැරව ය- ළමා ගීත සාහිත්‍යයේ වර්ධනීය යුගය ලෙස හැඳින්වෙන්නේ 20 වන සියවස යි- අඹ යාළුවෝ වැනි ළමා නාට්‍ය ඔස්සේ ළමා ගීත කලාව වර්ධනීය යුග පසුකරන්නක් විය- එමෙන් ම මහින්ද හිමියන්ගේ අතින් රචනා වූ ළමා ගීත බොහොමයක් දරුවන්ට රට ජාතිය ආගම නැවත සිහි කැඳවන්නක් විය- එම ගීතයන්ගේ තේමාවන් වූයේ සරල සුහුරු ළමා හැඟීම් වලට ඇමතීමයි- මෙම ගීතය ද ළමුන් අතර ඉතා ජනප්‍රිය ගීතයක් බවට පත්විය- එම ගීය මතුපිට අරුතින් සමාජ විරෝධී ගීතයක් සේ නොපෙනුන ද ව්‍යංගාර්ථවත් ලෙසින් එයින් කියැවෙන් අරුත සමාජයේ කේන්ද්‍රීය ගැටලුවක් සූක්ෂම අයුරින් විවේචනය කරන්නක් වනු ඇත- 
බොහෝ ළමා ගීත රචනා කිරීමෙන් කරළියට පැමිණි ශිරෝමි ප්‍රනාන්දු විසින් රචිත උක්ත ගේය පද රචනාව  ද කුඩා දරුවන් අතර ඉතා ජනප්‍රිය වූ ළමා ගීතයකි- ළමා ගීත කලාවේ ස්වර්ණමය යුගය වශයෙන් සැලකෙන 20 වන සියවසේ නිර්මාණය වූ මෙම ගීතයෙන් අර්ථ ගැන්වෙන්නේ කුඩා දරුවකු පිළිබඳව යි- කලූ නමින් හැඳුන්වන ඔහු තමන්ගේ ශරීරයේ වර්ණය පිළිබඳ  පසුතැවෙන කෙනෙකි- සුදු වන්නට ඔහු උත්සාහ දරයි- ඒ වෙනුවෙන් ඔහු නොකරන දෙයක් නොමැත- මතුපිටින් පෙනෙන්නේ කුඩා දරුවකුගේ සිතෙහි හටගන්නා සරල වූත් සුරතල් වූත්  හැඟීමකි- නමුත් යළි පෙළ අරුත විමසීමේ දී මතුව පෙනෙන කරුණ නම් එය ළමා ගීයකට උචිත නොවන බවයි- ශ්‍රි ලංකාව වැනි රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ළමා මෙහෙකාර සේවය නීතියෙන් තහනම් කර ඇති අවස්ථාවක මෙවැනි ගීත රචනා කිරීම ආචාරධර්ම විරෝධී රචනාවක් ලෙසද අර්ථ ගැන්විය හැකි ය- මෙම ගීතයේ සඳහන් කළු නමින් හඳුන්වන කුඩා දරුවා මෙහෙකාර සේවයේ යෙදෙන දරුවෙකි- 
කළු යන නාමයට සමාජීය වශයෙන් ලබා දෙන සංකේතය වන්නේ අඳුර, කඨෝරත්වය වැනි ආකල්පමය වටිනාකම් ය- මෙම ගීතයේ කළු ලෙස හඳුන්වන දරුවාගේ දිළිඳු බව දුෂ්කරත්වය ගී පද රචකයා සංකේතාත්මක ව දක්වන්නේ දැළි අඟුරු වලට සමාන කරමිනි- ලාංකේය සමාජය තුළ පීඩාවන්ට ලක්වන කුඩා දරුවන්ගේ රුවට එක් කරන භාෂාවේ ව්‍යංගාර්ථවත් බව ගීතයේ අන්තර්ගත ය- ලිපේ තියෙන දැලි අඟුරු ,අහසේ පාවෙන කළු වැහි වළාකුළු, කළුවර මාසෙ පෝය දවස  වලින් නිරූපණය වන්නේ කුඩා දුප්පත් දරුවකුගේ ආත්මීය කථනය යි- කළු වත්තේ වැඩ කරන අහිංසක දරුවෙකි- ඔහු තමන්ගේ ශරීරයේ වර්ණය පිළිබඳ ව පසුතැවෙන කෙනෙකි-  මතුපිටින් පෙනෙන්නේ කුඩා දරුවකුගේ සිතෙහි හටගන්නා සරල වූත් සුරතල් වූත්  හැඟීමකි- නමුත් යළි පෙළ අරුත විමසීමේ දී මතුව පෙනෙන්නේ සමාජයේ කළු වැනි දරුවන්ගේ දර්ද්‍රතාවය, බලාපොරොත්තු වේ- පීතෘ සෙනෙහස නොමැතිව නැතහොත් අවජාතක දරුවන් ලෙස සමාජය විසින් අර්ථ ගන්වා ඇති දරුවන්ගේ ඉරණම මැනවින් පසක් වන ගීයකි- මෙම ගීතය හරහා විෂද වන අනෙක් කරුණ වන්නේ දරිද්‍රතාවයෙන් යුතු සමාජයක කුඩා දරුවකු අත් විඳින අත්දැකීමකි- එක අතකින් දරුවන් පොෂණය සඳහා තම දෙමව්පියන්ට වත්කමක් නැතුවා විය හැකි ය- අනෙක් අතින් නව ආර්ථික ක්‍රමයේ ප්‍රතිඵලයන් ලෙස ධනපති පන්තියක් නිර්මාණය වූ අතර බහුතර ජනයා දුප්පත් ජනයා විය- කළු නම් ලද කුඩා දරුවා ද එවැනි ම වූ සමාජීය ක්‍රියාවලියේ ප්‍රතිඵලයකි- මෙම ගීතයේ යොදා ඇති අක්කිගෙ සබන් පියරු ටික යන වාක්‍යයේ සොහොයුරිය සහ කලූ අතර ඇති විෂමතාමය, දුරස්ථ බව විෂද කරයි- අක්කි යනුවෙන් යොදා ඇති වචනය ධනපති පාන්තිකයන් නියෝජනය සඳහා කවියා අපූරු ලෙස යොදා ගන-ී පුද්ගලායකු තවත් පුද්ගලයෙකු හා සමාජානුබද්ධ කරන පොදු මානසික භාවයන් වෙනුවට යාන්ත්‍රීකරණය, ලාභය සහ මූල්‍යමය අපේක්ෂාවන් මත පුද්ගලයා කොටස් කිරීම උස් පහත් නරක අයුරු ගීතයෙන් ප්‍රකාශිත ය- කළු අක්කිගේ සබන් පියරු ඉවර කිරීම යනුවෙන් දක්වා ඇත්තේ සැබැවින් ම දරිද්‍රතාවය යි- කළුට සබන් පියරු ගැනීමට වත්කමක් නොමැත- ඔහු දරිද්‍රතාවයේ ප්‍රතිමූර්තියකි- පන්ති භේදය විසින් හසු කරගෙන තිබෙන ගූඪත්වය එතරම් සතුටුදායක නොවේ- කළු නම් දරුවා සුදු වන්නට කැමති දරුවෙකි- අනෙක් දරුවන් මෙන් කළුගේ සිත ද සුදු නොවීමෙන් පීඩා විඳී- කළුට සුදු වන්නට සමාජීය රාමුවන් මඟින් ඉඩ ලබා නොදේ- එනම් දර්ද්‍රතාවයෙන් මිඳීමට දුප්පතුන්ට නොහැකි වේ- සමාජය විසින් දරිද්‍රාවය තීරණාත්මක සාධකයක් ලෙස කුඩා දරුවා යොදා ගැනීම කෙතරම් වලංගුදැයි යන පැනය පෙරළා සමාජය විසින් ඇසිය යුත්තක් විනා එය සමාජයේ පැළපදියම් වී හමාර ය- ගීත නිර්මාණයන් සඳහා එවැනි වූ අර්ථකථනයන් නිරූපණය වන්නේ එ නිසා විය හැකි ය- 

ඉර අවුවට කලුවෙනවා සෙවන තැන් සොයා යනවා සුදු ළමයින් දැක්කම කළුට ඇඬෙනවා
මෙම ගී පද හරහා කියැවෙන සමාජ යථාර්ථය හා පන්ති පරතරය සමාජ සම්මතයන් බිඳ දමන්නක් වග මෙමගින් ප්‍රතීයමාන වේ- කලූ වැනි වූ දරුවන්ගේ ඉරණම මෙවැනි ම වූ ඉරණමකි- ඔවුනට කෙදිනක හෝ දරිද්‍රතාවයෙන් මිදීමට නොහැක- සුදු ළමයි දකින සෑම අවස්ථාවක දී ම කළුට අඬෙයි- කුඩා දරුවකු වන කළු ට අඬනවා ඇරෙන්නට විකල්පයන් නොමැත- සැබෑ සමාජීය ව්‍යසනය නම් මෙයයි- ධනපති ආර්ථිකය විසින් සමාජයට තිළිණ කරන නැතිකම ඇති හැකි වූවන්ගේ වාසිය තකා ක්‍රියාත්මක වන යුගයක මෙවැනි ගීත විවිධ ළමා වැඩසටහන් වල පවා ඉතා උවමනාවෙන් ගයන්නේ එහි නිසි අරුත නොදැන බැව් සමාජ විෂමතාවයේ පැතිකඩ මොනවට කියා පාන්නකි- ලංකාවේ අනෙක් සමාජ විරෝධී ගීතයන් ලෙස ලියවුණු ගීතයන් බොහෝමයක් වාරණයට පවා ලක්වන්නේ  පවතින සමාජ තත්වයන්ට එරෙහි ව සමාජීය බලපෑමක් එම ගීතයන් හරහා සිදුව ඇති බැවිනි- නමුත් මෙම ගීතය ළමා ගීතයක් වන නිසාදෝ එම ගීතයට තවමත් වාරණ නියෝග පනවා නොමැත- එයට හේතුව ව්‍යංගාර්ථවත් අරුත් ළමා මනසට එතරම් නොතේරෙන නිසා විය හැකි ය- නමුත් සිග්මන් ප්‍රොයිඞ්ගේ විග්‍රහයට අනුව  මිනිස් මනස වැඩෙන්නේ දරුවකු කුස තුළ සිටින අවධියේ සිට ය- එහෙයින් මෙවැනි ගී පද රචනයන් කෙතරම් සමාජීය සංවර්ධනය සඳහා දායක  වනවා ද යන්න ද විමසීම වැදගත් ය- 

පාටක් ගැන තැවෙන්නෙ නූගතක්මටයි
කළු නම් කුඩා දරුවා උගතෙක් නොවේ- දරිද්‍රතාවයෙන් පීඩා විඳින ඔහුගේ එක ම බලාපොරොත්තුව වන්නේ සුදු වීම පමණකි- වෙනත් කිසිඳු බලාපොරොත්තුවක් නොමැත- කුඩා දරුවෙකුගේ මානසික තත්ත්වයක් අපූරු ලෙස නිරූපණය කරන්නේ සමාජයක පැලපදියම් වී ඇති තවමත් නොවිසඳුනු සමාජ විරෝධතාවකි- සමාජ ගැටලුවකි- නූගත්කම ද ධනපති පන්තියක අවශ්‍යතාව මත සකස් වූවක් මිස එය පොදු අයිතියක් වග නොදැනුන මුග්ධ ආලාපයක් ලෙස ද මෙම ගීය හැඳින්විය හැකි ය- නූගත්කම ඇතිවන්නේ සමාජයේ පවතින විෂමතාවයන්ගෙන් මිස උපතින් රැගෙන වන්නා වූ සහජ දක්ෂතාවන්ගෙන් නොවේ-   
    ළමා ගීත රචනා කළ යුත්තේ ළමා මනසේ පරිකල්පන රසාස්වාදය ජනනය විය යුතු ආකාරයටයි- එමෙන් ම එම ගීතය නිර්මාණය කරන්නා ප්‍රචාරකයෙකු හෝ ආඥා පනවන්නෙකු නොවිය යුතු යි- නමුත් ලාංකේය බොහෝමයක් ළමා ගීත වල බලෙන් අන්තර්ගත කරන ලද පණිවිඩ වල උපදේශාර්ථ ගැබ්ව ඇති බැව් හඳුනා ගත යුතු යි-  දරිද්‍රතාවය විසින් ගොඩනගන ලද සමාජ ඝට්ඨනය ,සමාජ විසංවාදී බව කුඩා දරුවකුගේ ආකල්ප මත දෝලනය වන්නේ මුළු මහත් සමාජයක සෝචනීවත්වය ප්‍රකට කරමිනි- කළු ම කළු ගේය පද රචනාවෙන් ප්‍රතීයමාන වන්නේ දිළිඳු බවෙන් පීඩා විඳින කුඩා දරුවකුගේ ආත්මීය කථනයකි- 
ඈත අතීතයේ පටන් කළු සුදු වර්ණයන්ගේ නොගැළපීම සමාජීය , දේශපාලනික විභවයන් තීරණය කරන්නා වූ සාධකයක් විය- මෙම ගේය පද රචනාවේ එන කළු නම් දරුවා සුදු නොවන්නට මෙවැනි ගීයක් රචනා නොවන්නට තිබුණි- කෙසේ නමුත් ලොව සංවර්ධනයේ මංපෙත් පුළුල් වූ රාජ්‍යයන්හි පවා අදටත් හමට ලබා දී ඇති අර්ථකථනය එතරම් සුභවාදී නොවේ- සමේ වර්ණය කුමක් වුවත් රුධිරයේ වර්ණය සාදෘශ්‍ය නම් මිනිසා යන සාධකය සියල්ලන්ට සමාන විය යුතු නොවේ ද? 
“කළු වුනාට සුදු වුනාට කාගෙත් ලේ රතු පාටයි ”
ලෙස ගීතයේ සඳහන් වේ- විසංවාදය නම් කළු නම් දරුවාට හිමි වන්නේ රක්ත වර්ණ රුධිරයම නම් ඔහු කළු නමින් මෙහෙකරුවකු ලෙස දක්වන්නේ මන්ද යන්නයි- ලෝකයේ කළු සම නිසා පීඩාවට පත්වූවන් සේම කළු සමෙන් ජයගත් මිනිසුන් ද නැතුවා නොවේ- දේශපාලනික වශයෙන් නෙල්සන් මැන්ඩෙලා වැනි නායකයන් ද මයිකල් ජැක්සන් වැනි ගායකයන් අතුරෙහි සිදු වූ බව නිදහසට කරුණක් පමණක්ව ඇති යුගයක කළු වැනි වූ දරුවන්ගේ ඉරණම කෙසේ නම් විසඳේ ද?

No comments: