stress නැති කරන කාමරංගා





අපේ පලතුරු ලොකේ රසවත් පලතුරු අතරින් කාමරංගා කියන්නේ දිව පිනවන පලතුරක් වගේ ම දිව ඔසුවක්. විශේෂයෙන් ම අපේ ශරීරය වගේ ම මනසත් පොෂණය කරන පලතුරක් මේ. මේ පලතුරත් ජූනි මාසෙ වගේ ඉඳල හැදෙන්න පටන් ගන්නවා. කාමරංගා වර්ග දෙකක් තියෙනවා. එක වර්ගයක් තමයි ඇඹුල් කාමරංගා. අනිත් වරගය තමයි පැණි කාමරංගා. මේ මොන පලතුර වුනත් මේවායේ ගුණයෙන් නම් වෙනසක් නෑ. අපේ සීයල කියල තියෙනවා අතීතයේ අපේ රජවරු යුද්ධ දිනන්න අවශ්‍ය ශරීර ශක්තිය වර්ධනය කර ගන්නට කාමරංගා පානයක් විදියට භාවිතා කරල තියෙනවා කියල. ඒ කතාව ඇත්ත මොක ද ආයුර්වේදයේ සඳහන් වෙනවා ශරීරයේ කාය ශක්තිය වර්ධනය කර ගන්නට කාමරංගා පලතුර ඉතාමත් වටිනවා කියල. 

අතීතයේ දී ආහාර වලින් ඇතිවන රෝගී තත්ත්වයන්ගෙන්විිෂ නැසීමේ උපක්‍රමයක් විදියට කාමරංගා හඳුන්වනවා. අපි නිතර දෙවේලේ ගන්න ආහාර පිළිබඳ එතරම් පැහදීමක් නෑ. මොක ද අපි අපේ ගෙවත්තෙන් හැදෙන එළවළු පලතුරු කන්නෙත් නෑනෙ. මේ තියෙන වැඩත් එක්ක වගා කරන්න වෙලාවක් නෑ කියන එකත් සාධාරණ කාරණාවක්. දන්නව ද? ඔබට පුළුවන් නම් දිනපතා කාමරංගා ආහාරයට ගන්න ආහාර වලින් අපේ ශරීරයේ තැම්පත් වෙලා තියෙන විෂබීජ නැති කරන්න පුළුවන්. අපිට අසනීපයක් හැදුන ම නොදැනුවත්ව ම අපේ ශරීරය දුර්වල වෙනවා. ඒ වෙලාවට කාමරංගා කියන්නේ දිව්‍යමය ඖෂධයක්. අපේ නහර ගැටගැහෙන අවස්ථා තියෙනව නේ ද? ඒ කියන්නේ රුධිර සම්පාදන ක්‍රියාවලියේ අක්‍රමිකතා සිදුවෙනවා කියන එක. ඒ වගේ අවස්ථාවල දී කාමරංගා පලතුර ගුණවත් ඖෂධ්‍යයක් විදියට ක්‍රියා කරනවා. අධ්‍යාපනය ලබන අපේ නංගිල මල්ලිලට වගේ ම මතක ශක්තිය කියන්නේ අපිට අවශ්‍යම දෙයක්. කතාවට කියනවනේ වයසට යන්නත් එක්ක අපේ මතක ශක්තිය නැති වෙනවා කියල. ඒක ඇත්ත. හැබැයි කාමරංගා පලතුරේ තියෙන පෝෂ්‍ය පදාර්ථයන් අපේ මතක ශක්තිය වර්ධනය කරල මනස නිරෝගිව තබනවා. 

අපේ කාන්තා පාර්ශවයට නිතර හැදෙන ලෙඩක් තමයි කොන්දෙ අමාරුව සහ හනදිපත් රුදාව. වගේ ම ශරීරය හිරිවැටීම වගේ රෝගී තත්ත්වයන්. මේ තත්ත්වයන් නිට්ටාවට ම සුව කර ගත හැකි ක්‍රමයක් විදියට කාමරංගා පලතුර හඳුන්වනවා. වැහිබර කාළගුණයක් තියෙන අවස්ථාවක දී හෙම්බිරිස්සාව කියන්නේ කිය කිය හැදෙන ලෙඩක් නෙවේ. ඒ වගේ අවස්ථාවල දී කාමරංගා පානය කිරීම ගුණදායකයි. අර්ශස් රෝගයෙන් පෙළෙනවනම් ඒ සඳහා දැන් බයවෙන්න ඕනෙ ම නෑ. මොකද කාමරංගාවලට පුළුවන් මේ රෝගය සුව කරන්න. මනස නිරවුල් කිරීමේ විශේෂ ගුණයක් කාමරංගා පලතුරේ අඩංගුයි කියල මෑතක දී පර්යේණ වලින් ඔප්පු වෙලත් තියෙනවලු. අපේ කාර්යබහුල ජීවිතේත් එක්ක කලට වෙලාවට ආහාර ගන්න අපිට අමතක වෙනවා. ඒ නිසා ම කාලයක් යනකොට අපිට බඩගිනි දැනෙන්නේ නැති වෙනවා. එහෙම වුනා ම අපේ ආහාර රුචිය වැඩි කරන්න මේ පලතුරට පුළුවන්. විශේෂයෙන් උෂ්ණ අධික දිනවල ශරීරය සිසිල් කරන්න පුළුවන් වීම මේ පලතුරෙන් ලැබෙන වාසියක්. ජෑම්, කෝඩියල්, සිරප්, සලාද  වගේ ම අච්චාරු, ව්‍යංජන හදන්නත් කාමරංගා භාවිතයට ගන්නවා. 


No comments: