කුඩා කාලයේ පියාගේ දේහය අසලින් සිය අම්මා සෙවූ කුඩා දරුවෙක්. අම්මා නමින් සිය ලේඛන දිවිය ඇරඹූවා. වර්ෂ 1868 මාර්තු 28 වන දින රුසියාවේ උපත ලද ඇලෙක්සෙයි සැක්සිමොවිච් පෙෂ්කොව් නම් පුද්ගලයාගේ කුඩා කළ සිට ජීවන ගමන එතරම් සතුටුදායක නොවුනා. වයස අවුරුදු පහ වන විට පියාගේ දේහය අසල සිටගෙන සිටින්නට ඔහුට සිදුවිය. නමුත් ඇලෙක්සෙයි, මැක්සිම් ගෝරකි වන්නට තම අත්දැකීම් පිටුවහල් කරගත් වග නොරහසක්. සිය පියාගේ මරණයෙන් අත්තම්මාගේ පිහිට පැතූ ඇලෙක්සෙයි ඇයගේ සුරංගනා කතා වලින් මදක් සැනසුනා විය හැකියි. අත්තම්මා කියාදුන් සෑම සුරංගනා කතාවකින් ම සිය මවගේ රුව මවා ගන්නට තරම් ඔහු මවට දැඩි සේ ලෙන්ගතු වූවා. පාසල් කාලය තුන්වන පන්තියට පමණක් සීමා වූ නිසා ඔහුට විවිධ රැකියා වලට යන්නට සිදු වූවා. මේ අතරතුරෙහි දුම් නැවක මුළුතැන්ගෙයෙහි සේවය කිරීමට සිදු වූ ඇලෙක්සෙයිහට පොත් කියවීමට හුරුවක් සපයන ලද්දේ ස්මුරි නැමැති කෝකියා. ඒ අනුව යමින් තමන්ට හැකි සෑම විට ම පොත් කියවීම ඔහුගේ පුරුද්දක් බවට පත්වූවා. වර්ෂ 1884 ඇලෙක්සෙයි විප්ලවවාදී සංවිධානයකට බැඳීම ඔහුගේ ජීවිතය වෙනස් මගකට යොමු කරන්නක්. එහි දී ඔහු නවාතැන් ගත් නිවසේ සිටි ඩැරන් කෝප් සතුව පැවති එතෙක් රුසියාවේ සාර් පාලනයෙන් තහනම් කළ පොත් රැසක් ඇලෙක්සයිට හමුවූවා. නිර්ධන පන්ති විප්ලවයට ඇලෙක්සයි අත්පොත් තැබුවේ මේ කෘති හරහා.
විප්ලවවාදියෙකු බවට පත්වූ නිසා ම ඔහුට සිර බත් කන්නට සිදු වූවා. නමුත් එම ගමන සිය ජීවිතයේ හැරවුම් ලක්ෂය වූ බව ඔහු නොදැන සිටියා විය හැකියි. සිරගෙදර දී ඔහුට එවකට රුසියාවේ මහා ලේඛකයෙකුව සිටි කැලූෂ්ණි මුණ ගැසුනා . ලේඛන කලාවට ඇලෙක්සයි පන්නරය ලබන්නේ ඔහුගෙන්. 1892 දී ඇලෙක්සයි ලියූ මකාර්චුද්රා කෘතිය මැක්සිම් ගොර්කි නමින් ප්‍රකාශයට පත්වූවා. ඇලෙක්සයි මැක්සිම් ගෝර්කි ලෙස බිහිවන්නේ මේත් සමග.
පසුව දිගින් දිගට ම නවකතා කෙටි කතා රචනයේ යෙදෙන ගෝරකිගේ ලේඛන වල බොහොමයක් තිබුණේ දුක් විඳින මිනිසුන් ගැන. පළවෙනි නවකතාව පොමාගර්දේයෙව් ලියැවෙන්නේ ඒ අනුවයි. 20 වන සියවස මුල භාගය ගෝර්කි විසින් හිරුගේ ළමයි, සුළු ධනපතියෝ, ගිම්හානයේ මිනිස්සු යනා දී නාට්‍යයන් සාර් ආණුඩුවේ විවෙචනයට ලක් වුවත් සිය ගමන අතහැර නොයන ගෝරකි 1905 දී සමාජවාදී කලාවකට මුල් අත්තබන්නේ අම්මා නවකතාව රචනා කිරීමෙන්. ළමාවිය, මලේ සරසවි වැනි නවකතා බිහිවන්නේ ඉන් පසුවයි. ඛදඇර ෘැචඑයි වැනි කෘතන්හි එන අපූර්ව යථාර්ථවාදී චරිත නිසා ම එය නාට්‍යක් වශයෙන් එළි දැක්වීම ද සිදු විය. කුඩා කළ සිට අත්විඳි නිර්ධන පාංතික ජීවිතයේ ගැහැට ඔහුගේ නිර්මාණ සඳහා පාදක වූ නිසා ම ලෝ පුරා පීඩිත ජනතාවගේ ආකර්ෂණය මේ සඳහා යොමු වූවා. මරන මොහොත තෙක් සෝවියට් ලේඛක සංගමයේ ප්‍රධාන ලේකම් ධූරය දැරූ ගෝරකි සිය ජීවිතයේ දුක් ගැහැට තුළින් රචකයෙකු වූ අත්දැකීම් ලාභියෙක්. කොතරම් සම්මාන ලැබුවත් සිය රචනා කලාව ස්වීයත්වයෙන් යුතුව නිර්භයව සිදු කරන්නට සමත් ගෝරකි 1936 වසරේ මියයනවා. නමුත් අම්මා තවමත් ලොවක් අතර සැරිසරන්නේ ඔහුට ගෞරවයක් ලෙසින්.
සුලක්ෂි රත්නායක

No comments:
Post a Comment